Search

වත්මන් රජයේ නව පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තීන් පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ මත විමසීම සහ සාකච්ඡා මාලාව

වත්මන් රජයේ නව පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තීන් පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ මත විමසීම සහ සාකච්ඡා මාලාවේ පළමු වටය ඊයේ (01) දින ජනාධිපති ලේකම්කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ලංකාවේ පර්යේෂණ ආයතන රාශියකට ආරාධනා කර තිබූ අතර සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන අප ආයතනයද ඒ අතර විය.

මෙම අවස්ථාව සදහා අප ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අතුල සුමතිපාල මහතා ද විධායක කමිටු සාමාජික මහාචාර්ය ගොමින්ද පොන්නම්පෙරුම මහතාද සහභාගි විය.
මෙහි දී මහාචාර්ය අතුල සුමතිපාල මහතා සුවිශේෂ කාරණා තුනක් ඉස්මතු කරන ලදී. ඉන් ප්‍රධානම කාරණය වූයේ විදේශ රටවල ඉහල ප්‍රමිතියෙන් යුතුව ලබා දෙනු ලබන තරගකාරී පර්යේෂණ පුණ්‍යාධාර විසින් හෝ රාජ්‍ය පර්යේෂණ ප්‍රතිපාදන ලබාදෙන ආයතන මගින් හෝ ලංකාව තුළන් සිදු කරන පර්යේෂණ වෙනුවෙන් ශ්‍රී ලාංකීය විද්වතුන් ලබාගන්නා පර්යේෂණ මුල්‍යධාර රට තුලට ගෙන ඒමේදී මුහුණදීමට සිදුවන නොයෙක් ආකාරයේ ගැලුකාරී තත්ත්ව සහ අනවශ්‍ය ප්‍රමාද කිරීම් වලින් මුදාගැනීම සඳහා කටයුතු කිරීමේ ඇති වැදගත්කමය.

තවද පුණ්‍යාධාර ලබාදෙන රටවල් අතර ලෝකයේ 8 වන ස්ථානය ගන්නා ශ්‍රී ලංකාවේ ජනතාව සියලු ආකාරවලින් පුණ්‍යාධාර කටයුතු සඳහා මුල්‍යමය දායකත්වය ලබා දුන් නමුදු ලෝකයේ දියුණු රටවල මෙන් පර්යේෂණ වෙනුවෙන් පුණ්‍යාධාර ලබාදෙන ආයතනයක් අප රට තුළ නොමැති වීමේ අඩුපාඩුව පිළිබඳ ඉස්මතු කළ අතර එම කරුණ මෙම නව ප්‍රතිපත්තීන්ට අනුගත කොට එයට ගැලපෙන පරිදි ආයතනයක් මහා භාණ්ඩාගාරය හරහා ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියේය. මෙයට උදාහරණයක් ලෙස ඔහු පවසා සිටියේ එංගලන්තයේ ස්ථාපිත ලෝකය පුරා පුන්‍යාධාර ලබාදීමට කටයුතු කරන ‘වෙල්කම් ට්රස්ට්’ (Wellcome Trust) ආයතනයි. එය පිහිටවන ලද්දේ ආචාර්ය හෙන්රි වෙල්කම් නැමැත්තාගේ මුළු බූදලය ම දායක කිරීම මතය. මේ ආකාරයෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් මුල්‍ය උත්පාදන කටයුත්තකට මැදිහත් වුවහොත් විදේශගත ශ්‍රී ලාංකිකයින් පවා ඒ සඳහා තමන්ගේ දායකත්වය ලබාදිය හැකි අතර ඒ සදහ රජය මත පැටවෙන බර අඩු කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙන ලදී.

එසේම මහාචාර්ය අතුල සුමතිපාල මහතා කලක් තිස්සේ යෝජනා කළ “යුරේකා-විදුසෙත” ලොතරැයිය ද මහපොළ ලොතරැයිය ට සමාන ලෙස ස්ථාපිත කරන ලෙස ද මෙහිදී ඒ මහතා නැවතත් ඉල්ලා සිටියේය. මෙහි වැදගත්කම වන්නේ එම ලොතරැයි හරහා මූල්‍යාධාර ලැබෙනවාට අමතරව පර්යේෂණ පිළිබඳ සටන් පාඨය ද ජනතාව වෙත ගෙන යෑමට හැකි වීමයි. මෙම යෝජනා තුනටම ඉතාමත්ම මෙම හමුවේදී ඉතාමත් සාධනීය ප්‍රතිචාර ලැබිණි.

ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතාගේ මුලිකත්වයෙන් පවතී මෙම හමුවට රජයේ නව පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තීන් පිළිබඳව ප්‍රධාන දේශනය විද්‍යාව හා පර්යේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සිදුකරන ලද අතර මෙම අවස්ථාවට ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා, මහා භාණ්ඩාගාරයේ අතිරේක ලේකම් චිරන්ති රත්නායක මහත්මිය, මහා භාණ්ඩාගාරයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ශිරන්ති රත්නායක මහත්මිය ඇතුළු තවත් රජයේ ඉහල පෙල නිළධාරීන් රැසක් එක්ව සිටියහ.

IRD මාධ්‍ය අංශය

Related Post

News

Events

Media

Projects

Publications